Wednesday, October 31, 2012

එහිතට ඇමතුවෙමි


සිඩ්නි ෂෙල්ඩන්ගේ “are you afraid of the dark?” එක හුස්මට කියවලා ඉවර කරපු මට තවත් විකාර ආසාවක් ඇතිවෙලා. මම ජීවිත කාලෙටම දෙවරකට වඩා කථා කරලා නැති, කවදාවත් කෙලින් මගේ ඇස් දෙක දිහා බලලා නැති, අමුතු තාලේ යාළුකමක් නොවෙන යාළුකමක් තිබුනු "ඇයට" කථා කළා. "මට තින්ක් ටෑන්ක්" එකක් පටන් ගන්න ඕන." මම කිවුවා.

"බොහොම හොඳ අදහසක්. ඇයි එහෙම හිතුනේ?" ඇගේ ප්‍රතිචාරය මම නොහිතපු තරමට 'මූට පිස්සු' වගේ විශ්ලේෂණාත්මක නිගමනයක නොපිහිටා, බැරෑරුම් බවක් ගත්තා. අඩු තරමේ ඒ වගේ දෙයක් කියන්න ජීවිතේ පළමුවෙනි වතාවට ඇයට දුරකථන ඇමතුමක් දුන්නේ ඇයි කියලවත්, කොහෙන්ද මගේ නොම්බරේ හොයාගත්තේ කියලවත් අහන්නේ නැතිව මාවම බයකරවන තරමේ බැරෑරුම් මුහුණකින් ඇය මට සවන්දෙනවා මට මැවිලා පෙනුනා.

"අර සිඩ්නි ෂෙල්ඩන්ගේ කථාවේ ටැනර් කින්ග්ස්ලිත් තින්ක් ටෑන්ක් එකක් පටන් ගන්නවා. ඒක මාර කන්සෙප්ට් එකක්. ඒ නිසා මටත් තින්ක් ටෑන්ක් එකක් පටන් ගන්න ඕන" මම කිවුවට, මගේ හිතේ තින්ක් ටෑන්ක් එකක් ගැන ඇතිවෙලා තියෙන විකාරරූපී උමතුව ඊට වඩා වචන කරන්න බැරි බව මට තේරුනා.

"ඒත් අපි හිතන්න ඕන තින්ක් ටෑන්ක් එකක් පටන් ගන්න කලින්, අපි මොනවගේ ඒරියාස් ද කවර් කරන්නෙ කියලා. පොලිටික්ස්? සයන්ස්? ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්?" මම නිහඬ වෙලා හිටියේ ඇගේ කථාවට ප්‍රතිචාර නැතිවුනු නිසා නෙවෙයි, තුනම එක වගේ හොඳයි කියලා හිතුනු නිසා.

"හරි, අපි හම්බුවෙලා කථාකරමු. හෙට? දහයට? කොෆී ෂොප් එකේ? අපි දෙන්නා විතරක්?" මම නිහඬවම ඔළුව වැනුවා. "හරි එහෙනම් හෙට හම්බුවෙමු." ඇය මගේ නිශ්ශබ්දතාවය තේරුම් අරන්. ඇගේ කටහඬ තවමත් ලයාන්විතයි.

Write me a letter
On baby blue paper
Do it sooner than later
Anytime you’ll need a friend

ජිල් ජොන්සන්ගේ Baby Blue Paper අහන ගමන්, "අපේ තින්ක් ටෑන්ක් එක" ගැන හිතමින්ම මට නින්ද ගිහින්. අවුරුදු විසිපහක වයස් පරතරයක් තියෙන ඇයත් මමත්”, ඇගතා ක්‍රිස්ටි සහ හර්කියුල් පොයිරෝ වගේ අපේ තින්ක් ටෑන්ක් එකේ පළමුවෙනි ව්‍යාපෘතියේ, ඔබත් මමත් දන්න ලෝකය වෙනස් කරන්න සමර්ථ වන බවට නිසැක, කාලගුණය වෙනස්කරනා තාක්ෂණයක් සහිත යන්ත්‍රයක් නිපදවීමේ ව්‍යාපෘතියේ බ්ලූප්‍රින්ට්ස් පරීක්ෂා කරලා බලනවා මම හීනෙන් දැක්කා.

Wednesday, October 24, 2012

මම ඔබ තුළම බිඳ වැටෙමි

"ඔයා හරියට බොබ් මාර්ලේ වගේ" එයා කියනවා. එයා එහෙම කියනකොට ඔයාට දැනුනු ආහ්ලාදය තප්පර කීපයක් ආඩම්බරෙන් විඳගත්ත ඔයා ගිටාර් එක අතට අරන්, පුලුවන් තරම් කටහඬ ගොරහැඩි කරලා "බෆලෝ සෝල්ජර්ස්" කියන්න උත්සාහ කලේ "මම බොබ් මාර්ලේමයි" කියලා හිතාගෙන. එහෙම නේද? හැබැයි එතකොටයි ඔයාට මතක්වෙන්නේ, එයාට ශා‍රුක් ඛාන් ගේ අලුත් ‍ෆිල්ම් එකෙන් එහාට, කත්‍රිනා කායිෆ්ගේ සීරෝ සයිස් එකෙන් එහාට හිතන්න වුවමනාවක් මෙච්චර කාලෙකට තිබිලා නැහැ කියලා. ඒ නිසාම ඔයා ගිටාර් එක පැත්තකට දාලා එයාගෙන් අහනවා, "ඇයි ඔයා මම බොබ් මාර්ලේ වගේ කියන්නේ?"

"දන්නෙ නෑ, එයත් ගිටාර් එකක් උස්සගෙන ෆොටෝ වලට ඉන්නව නේද?" එයා කියනවා. වේදිකාව මත ඊලඟ දර්ශනයට මම ස්ව කැමැත්තෙන්ම පොළාපනිනවා.

කාලය ගෙවිලා ගිහිල්ලා, තවදුරටත් ගිටාර් එක ඔයාගේ අතේ නැහැ. සත්සර විප්ලවයක් ගැන කිසිම විශ්වාසයක් ඔයාගේ හිතේ නැහැ. ඒත් තාම එයා, ඔයා ඉන්න බංකුවේ අනෙක් කොනේ වාඩිවෙලා ඉන්නවා. කිසිම අනතු‍රු ඇඟවීමක් නැතිව එයා කියනවා, "ඔයා හරියට චේ වගේ නේ?". විප්ලවයක් වෙනුවෙන් ලේ හලන්නට වුනත්, මරාගෙන මැරෙන්නට වුනත් සූදානමින් ඉන්න ඔයාගේ හිතට ඒ වචන එක්ක දැනෙන සතුට කියන්න වචන නැහැ. ඕනනම් 'වර්ණනා විෂයාතික්‍රාන්තයි' කියන්න පුලුවන්. පපුව ආඩම්බරෙන් පුම්බගෙන ඉඳලා ටිකක් මහන්සියි වගේ දැනෙනකොට ඔයාට මතක්වෙන්නේ එදා වුනු දේ. කාලාන්තරයකට කලින් වගේ දැනුනු දවසක. 

"ඇයි මම චේ ගුවේරා වගේ කියන්නේ?" ඔයා අහනවා. "ආ එයාගේ නම චේ ගුවේරාද? මම දැනගෙන හිටියේ චේ කියන කෑල්ල විතරයි!", එයාටත් ඔයාගෙ වගේම මැද්දේ ත‍රුවක් ගහපු තොප්පියක් තිබුනා නේද?"

එයාගේ නැත්නම් ඔයාගේ නැත්නම් මගේ වාසනාවට වේදිකාව කළුවර වෙනවා!


පැතුම් පුංචිහේවා


Friday, October 5, 2012

හෙඩිමක් නැත, කැමැත්තක් හිතාගත හැක

ලංකාවේ ට්‍රැ‍ෆික් ගැන දන්න මට ට්‍රැ‍ෆික් එක එච්චර ගාණක් නොවුනත්, හැමදාමත් මේ රෑට් එකේ ‍ටුක් ‍ටුක් එලවන ‍ටුක් ‍ටුක් එකේ අංකල්ට නම් ට්‍රැ‍ෆික් එක ලොකු හිසරදයක් වෙලා කියලා කියන්න පුලුවන්, අංකල් ඩ්‍රයිවින්ග් සීට් එකේ කැරකෙන ඇඹරෙන විදියට. මෙච්චර වෙලා මාත් එක්ක කථා නැතුව හිනාවෙවී හිටපු අංකල්ට කථාකරන්න හොඳ පොයින්ට් එකක් අහුවෙලා කියලා මට තේරැනා එන්ජින් එකත් නවත්තලා මගේ දිහාට හැ‍රැන විදියට. මම හිතුවෙම ට්‍රැ‍ෆික් එක ගැන පාලක පක්ෂයට බණින්න යනවා කියලා.
"බලන්න මහත්තයා මේ විලිසංගේ නැති @#&$!#@&* ගෑණු නිසා අපේ සිංහල සංස්කෘතිය නැත්තටම නැතිවෙලා යන හැටි."

මම පොඩ්ඩක් සැකයෙන් වටපිට බැලුවේ, මේ බණින්නේ ට්‍රැ‍ෆික් එකට නම් ට්‍රැ‍ෆික් නිසා සංස්කෘතිය නැතිවෙන හැටි මට ඒ තරම් අයුරැවක් නැති වුනත්, සමහරවිට මේ බණින්නේ අහල පහල ඉන්න ඇහැට කණට පේන දැරිවියකගේ නිරාවරණය වුනු රන්වන් පා යුග්මයක්වත් අංකල්ගේ ඇහැ ගැටිලාදෝ කියලා සැක පහල වුනු නිසාමයි.

ඒ පාර අංකල්ට මාත් එක්කත් මාරාවේශ වුනාද කොහේද. මට කෝපාග්නියට හේතුව අත දික්කරලම පෙන්නුවා.

අර  පේනවද අර @#$! ගෑණි විලිලැජ්ජාවක් නැතුව එළියේ දාගෙන ඉන්න ලස්සන. මම අහන්නේ මෙතන මගේ පොඩි එකෙක් එහෙම හිටියනම් මම මොනවද ඌට දෙන උත්තර?”

අංකල් අත අරින්නෙම නෑ. මම අංකල්ගේ ඇඟිල්ල දිගේ ඈත බැලුවා මොකක්ද මේ ජුගුප්සාජනක දර්ශනය කියලා. අංකල් මේ බනින්නේ එහා පැත්තේ ‍ෆිල්ම් හෝල් එකේ තිබුනු ලොකු කටවුට් එකක් දැකලා. මොකක් හරි අවාරෙට පොල් වැටෙන ගාණට එලියට එන සිංහල චිත්‍රපටියක්. ඒකේ ලාංකීය සිනමා අම්බරයේ දිදුළන ත‍රැවක් වුනු සුන්දර  නිළියක් "එන්න ‍ෆිල්ම් එක බලන්න" කියනවා වගේ පෝස් එකක ඉන්නවා.

හැබැයි අංකල් කියන විදියට කෙල්ලගේ අඟ පසඟ මොකුත් නිරාවරණය වෙලා නැහැ. සාරියක් ඇඳන් ඉන්න නිසා ඔබේ තීරය පෙනුනට මොකද, සාරිය අපේ ජාතික ඇඳුමනේ. හැබැයි ඉතින් සාරිය ඇඳලා තියෙන්නේ නම් ඉඟ සුඟ කැපී පෙනෙන, රණ තිසරැ හුස්ම හිරවෙලා මැරෙන තාලෙට. නැතුව ඉතින් අපේ ආච්චි වගේ සාරියක් ඇඳලා කටවුට් ගහලා වැඩක් තියෙනවද. මම නිෂ්පාදකවරයගේ පැත්තෙනුත් හිතුවා.

"මම අහන්නේ වටිනවද ඔය විදියේ පෝස්ටර් ගහන්න. රඟපානවනම් ඒක එකක් කිව්වැහැකි. අඩු තරමේ මහත්තයා මේ වයසේ ඉන්න මටවත් පුලුවන්ද ඔය පෝස්ටරේ දිහා කැත නැතුව, ලැජ්ජාවක් නැතුව බලන්න."

මට ෂුවර් දැන් අංකල් මාත් එක්කත් හිත කඩාගෙන ඉන්නේ කියලා. ඇයි ඉතින් මමත් ඔළුව එලියට දාලම බැලුවනේ මේ හු‍රැබුහුටි නිළියගේ මනස්කාන්ත රෑ සපුව. 

"අපි නොදන්නවද ඕකුන් කොහොමද ඔය බයිස්කෝප් වලට එන විදිහ. කී දෙනෙක් එක්ක නිදාගන්න ඇත්ද මේ වෙනකොට"

"අංකල් දැක්කද" එකපාරටම මටත් කලින් උපහාසය ඉස්සර වුනා. කට පරිස්සං කරගන්න බෑනේ මටත්.
"දකින්න ඕනද මහත්තයෝ, පේන්නෙ නැද්ද බලපු ගමන්. විලිසංගෙ නැති එවුන්" ඒ ටික නම් කිවුවේ මටත් එක්කද මන්දා.

වෙලාවට ට්‍රැ‍ෆික් එක තුනී වෙන්න පටන් ගත්තා. අංකල් ‍ටුක් ‍ටුක් එක ආයෙමත් ස්ටාර්ට් කලා. කථාව නතර වුනා. අංකල් කසාද බැඳලා දැන් ගොඩක් කල් වෙන්න ඇති. දැන් ඉස්සර වගේ ශෘංගාරජනක රාත්‍රීන් නැතුව ඇති. අර කටවුට් එකේ හිටපු කෙල්ලගෙ සරාගී නාරි ලාලිත්‍යය දැක්කම ඉහිලුම් නැතිවෙන්න ඇති. ඒ නිළිය ගේ හුස්ම එකපාරක් වැදුනත් සැපයි කියලා හිතෙන්න ඇති. ඊලඟට අපිට කොයින්ද පූසෝ ක‍ටු නැති මස් කියලත් හිතෙන්න ඇති. මම අංකල්ගේ පැත්තත් සාධාරනීකරණය කලා. ‍ටුක් ‍ටුක් එක වාහන අස්සෙන් යන්න පටන් ගත්තා. අර සරාගී නිළිය ඈතට ඒ තරම් ලස්සන නෑ කියලත් සයිඩ් කණ්නාඩියෙන් ආයෙමත් කටවුට් එක දැක්ක මට හිතුනා. පොදු ශ්‍රී ලාංකීය මධ්‍යම පාංතික චින්තනය, කුහක ලිංගිකත්වයක් ඇති අද්‍යතන ශ්‍රී ලාංකිකයා වගේ බර වචන දාලා ආටිකල් එකක් ලියන්න කම්මැලි කමට මම හෙඩිමක් නැතුවම ආටිකල් එක එඩිටර්ට දීල එන්න ආවා.


පැතුම් පුංචිහේවා

(Published in 'Go' mag, August 2012)

Monday, September 24, 2012

Can I keep you?

පාර දිගේ ඔහේ ඇවිදගෙන යන එකේ අමුතු ජොලියක් තිබුනත්, මේ ලියන මටවත්, කියවන පාඨකයාටවත් "ඔහේ ඇවිදගෙන යන" වෙලාව හොයාගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඕනනම් කියන්න පුළුවන් කාර්ය බහුල ජීවන රටාව එක්ක අපිත් යන්ත්‍ර වගේ වෙලා, පවතින ආර්ථික ක්‍රමය සමඟින් ජීවිතයේ වින්දනාත්මක පැතිකඩ අපිට අහිමි වෙලා, ධනවාදී අර්ථ ක්‍රමයක් තුළ පැවැත්ම උදෙසා සටන් කරන මධ්‍යම පාංතිකයෝ විදියට විඳීමේ නිදහස ගිලිහී ගිහින් වගේ ක්ලැසික් කථාවක්. ඒත් දවස අවසානයේදී ඒවා කේ ජයතිලකගේ ඒ කාලේ නවකතාවක වගේ දෙබස් විතරක් වෙනවා. අපි හෙට ඉරක් පායනු දකින බලාපොරොත්තුවෙන් අද රෑ නිදාගන්නවා. අන්තිමට කවදාවත් ඉර උදාවෙනවා, පළමු රැස් කදම්බය පොළවට වැටෙනවා දකින්න වාසනාවක් නොතිබුනු, අවාසනාවන්ත ජීවිතයක් ගෙවපු, පෘතුවියේ අනාථයෝ වගේ මැරිලා යනවා. 

", නිල්පාට සීලිමේ විහිදුනු කො‍ටු රටාවට ජ්‍යාමිතික අර්ථ විවරණයක් දෙන්න උත්සාහ කළේ ඉස්කෝලෙදී උසස් පෙළට ගණිතය හදාරලා තිබුනු නිසාම නෙවෙයි, සමහර වෙලාවට අයාලේ යන හිතුවිලි එක ලක්ෂ්‍යයක රඳවා තියා ගන්න ඒ වගේ මානසික ව්‍යායාමයක් උදවු වුනු නිසා..." ඒ ටික කියවපු මම පොත වහලා දැම්මේ ඒ තරමට ඒ වගේ ඡේදයන් හු‍රුපුරුදු නිසා. ගොඩක් ප්‍රවීණ වගේම ආධුනික ලේඛකයෝ මේ වගේ ලයින්ස් කියවන්න අප්පිරියා වෙනකල් පරම්පරා ගණනාවක් පට්ට ගහනවා. ඒත් ඉතින් මේ වගේ කොටසක් කියවනකොට මතකයන් ගාල කඩාගත්තු හරක් වගේ හිතට දුවගෙන එන එක නවත්තන්න සක්කරයට තියා උගේ පුතා වයිමාටවත් බැහැ. අඩු තරමේ ඒ මතකයන් ඇතුළේ කිරි කිරි හඬින් කරකැවෙන, මකුළු දැල් පි‍රුණු සීලිම් පංකාවක්, ලාබ හෝටල් කාමරයක් නැහැනේ කියලා මම හිත හදාගත්තා. ඇත්ත. නිල්පාට ගාපු, සුන්දර වගේම මිල අධික වටාපිටාවක් තිබුනු ඒසී කාමරයක කෙරෙන්නෙත් එකම දේ වුනත්, ඒකේ පොඩි කල්චර් එකක් හිතට දැනෙනවා. කොහොම වුනත් නිල්පාට ලස්සන පාටක්. නිදහස කියන්නේ ලස්සන වචනයක්. 

මල් පොතක් කියවන්න සෙට් වුනේ කාලෙකට පස්සේ. එකෙක් අහනකොට උඹ කියවන්නේ විහිළු කතා පොතක්ද කියලා, ඌට මම උත්තරයක් නොදුන්නේ, මට සමහර තැන් වලට තනියම හිනා ගියත්, මොනව වුනත් ඌත් එක්ක එකතුවෙලා මේක ලියපු එකාව බයිට් එකට ගන්න හිත් නොදුන්න නිසා. "එකාව" නෙවෙයි "ලේඛකයාව". එතනදී මම වැරදියි එහෙම හැඳින්වීමක් කරපු එක. ඇත්තටම සමහර "ආත්මීය" වදන් කියවනකොට පපුව පැළෙන්න තරමටම හිනා යන්න ආවත් පොත නරක පොතක් නෙවෙයි. විශේෂයෙන්ම අන්තිමට කොහොමින් කොහොම හරි කොල්ලයි කෙල්ලයි එකතු වෙනවා කියලා ෂුවර් එකක් තියෙන නිසාම පොත නරක නැහැ. ඒත් ඉතින් පරමාදර්ශී අහිංසක පෙම්වතෙක්ව උත්කර්ෂයට නංවලා, දුෂ්ටයාගෙන් කෑලි ගැලවෙන්න ගුටි කාලත් අත උස්සන්නේ නැතුව අවිහිංසක ආත්මීය ටෝක් දෙන නෝංජල් චරිතයක් කොල්ලාගෙන් මවන එක පොඩ්ඩක් අවුල්. ඒත් මේක කියවන උන් එහෙම වෙන්නේ නෑනේ. මේ පොත් කියවන කොල්ලොත්, මේ පොත් කියවන කෙල්ලන්ගේ කොල්ලොත් බොහෝ දුරට පාරෙදි එකෙක් වැරදිලා ඇ‍ඟේ හැප්පුනත් "උඹේ අම්මට" කියලා පටන් ගන්න වර්ගයේ මිනිස්සු. කොහොමත් ෆැන්ටසිය සහ යථ අතර හිඩැස පුරවන්න මේ වගේ දෙයක් වත් තියෙන එක හොඳයි. හැමෝටම ඛලීල් ජිබ්රාන්ව කියවන්න නිර්දේශ කරන්නත් බැහැනේ. 

Coffee lounge එකක තනියම එක්ස්ප්‍රෙසෝ එකක් බොන එකේ තියෙන හැඟීම් සහ වැඩිපුර සෙනඟ නැති හොඳ මට්ටමේ සයිවර් කඩයක උඩ තට්‍ටුවේ ඉඳන් එළකිරි දාපු තේ එකක් බොන කොට දැනෙන හැඟීම් එකිනෙකාට වෙනස්. ඒත් ඒ සන්දර්භයන් දෙකේම නිදහස ගැන හැඟීම් මාත්‍රයන් දැවටිලා තියෙනවා, අඩු තරමේ මට එහෙමයි. බොහොමයක් වෙලාවට සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ අවන්හලක සමාජ තත්වයන් දෙකක කස්ටමර්ස්ලාව පවත්වා ගන්නා ක්‍රමය වෙන්නේ පහල තට්‍ටුවේ එක් සේවාවක් සහ උඩ තට්‍ටුවේ වඩා හොඳ, වඩා සැපපහසුකම් සහිත සේවාවක් සැපයීම. ගොඩක් වෙලාවට මෙනු එක තට්ටු දෙකේම එකම වුනත් ගුණාත්මක තත්වයේ වෙනසක් තියෙනවා. පිරිසිදු කමේ වුනත් ඒ වෙනස තියෙනවා. අනෙක පහල තට්‍ටුවේ මෙනු එකක් ලැබෙන්නේ කලාතුරකින්. වේටර් මල්ලිට ලඟට කථාකරලා මොනවද තියෙන්නේ අහලා ගෙන්න ගන්න වෙනවා. ඒත් Coffee lounge එකක මේ වගේ දේශපාලනික ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම තැනකින් කෝපි එකක් බොන්න ලොකු මුදලක් වියදම් නොවුනත් මිනිස්සුන්ට ඒ වගේ තැනකට යන්න නොහිතෙන මොකක්දෝ අදෘශ්‍යමාන බාධකයක් තියෙනවා, ලංකාවේ බහුතර ජනතාවට. සමහර විට ශ්‍රී ලාංකීය පොදු සංස්කෘතිය තුළ ඉහළින් සැලකෙන අල්පේච්ඡතාව නිසා මිනිස්සුන්ට හිතෙනවා ඇති ‍රුපියල් තුන් හාරසීයක් වියදම් කරලා කෝපි එකක් බොන එකේ තේ‍රුමක් නැහැ කියලා. මම ඒ ගැන වැඩිපුර හිතන්න ගියේ නැහැ, කාලෙකට පස්සේ කාපු දකුණු ඉන්දියානු කෑම වේල අල්ලලා ගියපු නිසා, ජීවිතේ ම‍රු කියලා හිතුනු නිසා.


බස් එකේ පිටිපස්සේම සීට් එක ටිකක් කරදරකාරී තැනක්. බෑග් එක හේත්තුකරලා තියාගන්න ඉස්සරහා සීට් එකක් නැහැ, බස් එකේ ඩ්‍රයිවර්, පයිලට් Alter-Ego එකක් තියෙන කෙනෙක් නම් ඉතින් ඔළුව කෙලින්ම ගිහින් වදිනවා බස් එකේ වහලේ. ඒත් බස් එකේ පිටිපස්සේම සීට් එකේ ඉන්න එකේ අමුතු ජොලියකුත් තියෙනවා. මම කියන්නේ පොදු ජනයාගේ ඉන්ටර්සිටි බස් ගැන නෙවෙයි. ලදරම් වුනත් පිඹගෙන යන ලංගම බස් එකක් නැතිනම් ප්‍රයිවට් බස් එකක් ගැන. හෝල්ට් එකෙන් හෝල්ට් එකට නවත්තලා සෙනඟ පුරවගන්න ඒ හැටි ආසාවක් නැති, ඉක්මනට ගමනාන්තයට යන්න ඕනෑකමක් තියෙන රියැදුරු මහත්තයෙකුත් ඉස්සරහා හිටියනම් බස් ගමන ම‍රු. හැබැයි ඒ වගේ බස් එකක පිටිපස්සේ සීට් එක පොතක් කියව කියව යන්න සුදුසු තැනක් නෙවෙයි. වටපිට සිරි නරඹමින්, පැද්දෙමින්, ගැස්සෙමින්, හුළං වදිමින් යන එකේ ආහ්ලාදය අත්විඳින්න නම් හොඳයි. එහා පැත්තේ වාඩිවෙලා හිටපු කන්තෝ‍රු ගිහින් එන අංකල්, කන්තෝ‍රු ගිහින් එන ඇන්ටිත් එක්ක කථා කරමින් හිටියේ දැන් ත‍රුණ පරපුරේ හැදියාව පිරිහිලා කියන කාලෝචිත මාතෘකාව ගැන. හරි ෂෝක්. එතකොටම පිඹගෙන යන බස් එකේ රේඩියෝ එකෙන් "කොළොම්පුරේ ශ්‍රියා" සිංදුව ඇහෙන්න පටන් ගත්තා. "හන්දියේ අර හිටන් ඉන්න රාළහාමිගේ අත්දෙක, මැෂින් එකක් වගේ නිකන් අර පැත්තට මේ පැත්තට..."

"උඹ හැමදාමත් කියන දෙයක් තමයි කථා කරන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා. ඒත් ඉතින් අපි හම්බවුනාට පස්සේ ගොළු වෙලා මගේ දිහා බලාගෙන ඔහේ හිනාවෙවී ඉන්නෙත් උඹම තමයි. මම සාමාන්‍යයෙන් කථාබහක් නැතිවුනාට උඹ එක්ක ඉන්න පැයක දෙකක කාලය ඇතුළත එෆ් එම් චැනල් එකක් වගේ කියවනවා. එක එක ඒවා. මම හැමදාමත් හිතන්නේ මොනවා කථා කරන්නද කියලා. ඒත් ඉතින් උඹත් එක්ක 'මඟ දිගට ජනකථා' වල ඉඳන් 'කාර්ලෝස් කැස්ටනේඩා' දක්වා නානාවිධ නානාප්‍රකාර දේවල් කියවන එක මට වෙලාවකට නවත්තගන්නත් බැහැ. ඒක නෙවෙයි, දන්නවද මම මේ ලඟදී බැලුවා චිත්‍රපටයක්, ඒකේ නම 'එම්-බටර්ෆ්ලයි'. එම් කියන්නේ මදාම් කියන එකට. ඒකේ කථාව අනුවේදනීයයි. කෙල්ලෙක් විදියට ඉන්න පිරිමියෙක් එක්ක, චීන චරපු‍රුෂයෙක් එක්ක ආදරෙන් බැ‍ඳෙනවා ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. අවු‍රුදු 20ක් තිස්සේ මේ ආදරය පවතිනවා. අන්තිමට රාජ්‍ය රහස් පිටතට දෙන මේ රාජ්‍ය තාන්ත්‍රිකයාට බිහිසුණු යථාර්තයට මුහුණ දෙන්න වෙනවා. තමන්ගේ ආදරවන්තිය සැබවින්ම පිරිමියෙක්. ඉතින් හිරගෙයි දී මේ රාජ්‍ය තාන්ත්‍රිකයා මැඩම් බටර්ෆ්ලයි චරිතය කරනවා, අනෙක් හිරක‍රුවෝ ඉදිරිපිට. මැඩම් බටර්ෆ්ලයි කියන්නේ මායාවී ආදරයක් වෙනුවෙන් ජීවිතය පුද කරන ගැහැණියක්. මේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයා, මායාවී ආදරයක වසඟය තුළ හිටි උමතු ආදරවන්තයා, කිසිදාක අමතක නොවන  රංගනයකින් පස්සේ දිවි නසා ගන්නවා. චිත්‍රපටය ඉවර වෙනවා. ඔව් මම දන්නවා අද මම පැය දෙකක් තිස්සේ උඹත් එක්ක කථා කලා කියලා. දන්නවද, මට ජීවිතේදී හම්බුවෙලා තියෙන ලස්සනම ඇස් තීයෙන මනෝ චිකිත්සකවරිය උඹයි. සුභ සැන්දෑවක්"

පැතුම් පුංචිහේවා